Sinhala Insights

නිරෝධායන ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

ඉමේෂා තුෂානි

චීනයේ වූහාන් නගරයෙන් ඇරඹි කොවිඩ්-19 වසංගතය මේ වන විට  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 126කට අධික ප්‍රමාණයකට පැතිරී ගොස් හමාරය. මෙම වසංගතය පාලනය කිරීමෙහි ප්‍රධාන පියවරක් ලෙස නිරෝධායනය හදුන්වා දිය හැකිය. නිරෝධායනය පළමු වරට හඳුන්වා දෙනු ලැබුවේ කොලරාව පැතිරීම සීමා කිරීම ​​සඳහා ය. නමුත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය  ප්‍රජාව නිරෝධායන අත්දැකීම ලබා ඇති ප්‍රථම අවස්ථාව මෙයයි. එනිසා මෙම නිරෝධායන ක්‍රියාවලියට කිසියම් ආකාරයේ අනිසි බියක්,තැති ගැන්මක්, අකමැත්තක් ඇති වීම ස්වභාවිකය. නමුත් මෙම නිරෝධායන ක්‍රියාවලිය පිලිබඳ නිවැරදි අවබෝධයක් නිරන්තරයෙන් ජන මාධ්‍යය මගින්  අප හට ලබා දේ. එබැවින් නිරෝධායන ක්‍රියාවලිය කුමක්ද යන්න අප හට මේ වන විට නිවැරදි අවබෝධයක් තිබෙනු ඇති බව මාගේ විශ්වාසයයි. නමුත් සුළුතරයක් වූ පිරිසක්  තවමත් මෙම නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන බවක් අපට දක්නට ලැබේ.

අපගේ එදිනෙදා බස් වහරට  ආගන්තුක  වචනයක්  ලෙස නිරෝධායන හෙවත්  Quarantine යන වචනය හඳුනා ගත හැකිය. අද වන විට කොවිඩ්- 19 වසංගතය  තරමටම නිරෝධායන යන වචනය  අප රට තුළ  ජනප්‍රිය වී ඇත.

නිරෝධායන ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

ඇතැම් පුද්ගලයන්  මෙම නිරෝධායන  ක්‍රියාවලිය කුමක්ද යන වග අවබෝධය කර ගෙන නැත. සංජානන සහ හැගීම් වලට දක්වන ප්‍රතිචාර වශයෙන් මනසින්ම ප්‍රතික්ෂේප  කරනු ලබයි. ආතතිය, අනිසි බිය මෙන්ම නිරෝධායන සහභාගි වු විට

  • මට කුමක්  සිදු වේද?
  • මගේ පවුලේ සාමාජිකයන්ට  කුමන බලපෑමක් ඇති වේද?
  • නිරෝධායන ක්‍රියාවලියෙන් පසු සමාජය මගින් එල්ල වන ප්‍රතිචාරයන්හි ස්වභාවය කෙබඳුද ?

යන කරුණු නිසා පුද්ගල මනසින්ම මෙම නිරෝධායන ක්‍රියාවලිය  ප්‍රතික්ෂේප කරනු ලබයි.

තවත් හෙතුවක් නම් මෙහි බරපතල කම අඩු තක්සේරු කිරිම, එනම් ඉතා සරල ලෙස සිතීම ය.

  • මෙය වයිරසයක් පමණියි
  • මා හට මෙයින් අවදානමක් නැත
  • වයෝවෘධ පුද්ගලයන් ට පමණක් මෙය වලංගුවන බව

ඔබද මෙම තත්ත්වය හමුවේ එක වරක් හෝ මෙසේ සිතා  නොමැතිද?මෙහි ඇති සංකිර්ණත්වය හරි හැටි අවබෝධ කර ගත යුතුය. අද වන විට ශ්‍රි ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 546 සිටින අතර  ඉන් 7ක් මිය ගොස් ඇත. මෙය දිනෙන් දින උග්‍ර වනවා මිස හීන විමක් දක්නට ලැබෙන්නේ නැත.

පෞද්ගලික ගැටලු සහ නීතිමය ගැටලුකාරී තත්ත්වයන්‍

එනම්  තමන්ට  කොවිඩ් – 19 රෝග ලක්ෂණ අතරින් කැස්ස,උගුරේ  වේදනාව  වැනි ලක්ෂණ  ඇත්නම්  එය සමාජයෙන් වසන් කිරිමට  තැත් කරයි. නිවසේදී ම අත් බෙහෙත් භාවිත කර සුව කර ගැනීමට වෙහෙසෙති. රෝහලකට යාමට මැලි කමක් දක්වති.මන්ද යත් කොවිඩ් පරික්ෂණ මගින්  අනිකුත් රෝගාබාධ පිළිබඳව  ද දැන ගැනිමට හැකි වන නිසාය. විශේෂයෙන්ම  විදෙස් ගත පුද්ගලයන් නිරෝධායන ප්‍රතික්ෂේප කරනුයේ මෙම කරුණ මූලික කර ගෙනය.

උදා-  කොවිඩ්- 19 පරික්ෂණ මගින් AIDS වැනි  රෝග  තත්ත්වයන් තිබේ නම් ඒවාද ඉස්මතු වේ. එනිසා සමාජයෙන් කොන් වේ යන බිය ඇති වේ.

තවද නීතිමය ගැටලු ලෙස තමා වරදකරුවකු  වේ යන හැගීම මත පොලිස් අත් අඩංගුවට ගැනීම ,දඩ ගැසීම හෝ වෙනයම් දඩුවම් ලබා දේ යැයි  අනිසි බියකින් පෙළේ.

සාවද්‍ය  තොරතුරු සම්ප්‍රේෂණය  වීම

සමාජ මාධ්‍යය මගින් විවිධාකාර අසත්‍යය  තොරතුරු සම්ප්‍රේෂණය  වීම දක්නට ලැබේ. ඇතැම්  පුද්ගලයන් මෙම නිරෝධායන ක්‍රියාවලිය  විවේචනයට  ලක් කර මින් විවිධ  අසත්‍යය ප්‍රචාර සමාජ මාධ්‍යය ඔස්සේ  ප්‍රචාරණය කර ඇත.

  • නිසි ලෙස සනීපාරක්ෂක  පහසුකම් සලසා නොමැති බව
  • තේ පානය සදහා ලබා දී ඇත්තේ ප්ලාස්ටික් බෝතල් කපා සැදු කෝප්ප බව

එම නිසා නිරෝධායන ලක් ව අත්දැකීම් ලැබු  පුද්ගලයන් ගෙන් සෑබෑ තොරතුරු  ලබා ගැනීම ඉතා වැදගත් වේ.

එමෙන්ම සාවද්‍ය  තොරතුරු  මෙන්ම නිරවද්‍ය තොරතුරු ද විශාල වශයෙන්  එකවර සමාජ ගත වීම නිසා තෝරා බේරා ගැනීමේදී  කිසියම්  පැටලුම් සහගත බවක් ඇති වේ.

ඒ අනුව ඉතාමත් අත්‍යවශ්‍යය කරුණු පමණක් ඉතා කෙටියෙන්  ඉදිරිපත් කිරිම වඩා යෝග්‍ය බව පර්යේෂකයන් පවා පෙන්වා දී තිබේ.

සරලවම පවසන්නේ නම් short and sweet විය යුතුය. එවිට ඉතා ඉක්මනින් පුද්ගල මනසට නිවැරදි තොරතුරු ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් ලැබේ. ඒ අනුව 0710107107 සහ 0113071073 යන දුරකථන අංක මගින් කොවිඩ් -19 පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගත හැකිය.

ඇතැම්  පුද්ගලයන් ගේ මානසිකත්වය  මෙම නිරෝධායන ක්‍රියාවලිය ට සූදානම් වී නොමැති බැවින්  නිරෝධායන පිළිබඳ  ඍණාත්මක සිතුවිලි, ආතතිය, විශාදය, සහ කාංසා තත්ත්වයන් පැන නගියි. මෙම පුද්ගලයන් ගේ මානසික මට්ටම අප හොඳින්  අවබෝධ කර ගෙන  නිරෝධායනයෙහි වැදගත්කම පෙන්වා දීමට අප මැදිහත් විය යුතුය. ඒ අනුව නිවසේදී ම ස්වයං  නිරෝධායන ක්‍රියාවලියකට යොමු වීමට ඔවුන් ව හුරු කල යුතුය. නමුත් තවදුරටත් කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය සහය ලබාගනිමින් නිරෝධායන මධ්‍යස්ථානයකට යෑම යෝග්‍ය වනු ඇත.

නිවැරදි ලෙස දින 21 නිරෝධායනය වීමෙන් වටිනා නිරෝධායන සහතිකයක්ද රජය විසින් ලබා දේ එබැවින් නිරෝධායනයට ලක් වීම කිසිසේත්ම බිය විය යුතු කරුණක් නොවන බව අපට පැහැදිලි ය.

සෑම සිදුවිමක් ම තාවකාලික බවත් සෑම ප්‍රශ්නයකටම පිලිතුරක් ඇති බවත් අප හොඳින් දන්නා කරුණකි. එම නිසා නිරෝධායන කෙරෙහි අනිසි බියක් ඇති කර ගැනීම හාස්‍යජනක කාරණයකි. නිරෝධායන මධ්‍යස්ථානවල පිරිසිදු බව මෙන්ම එහි ලබා දෙන පහසුකම් ද අති විශිෂ්ට ය. ශ්‍රි ලංකාව වැනි  පුංචි  රටක් තුළ මේ ආකාරයෙ  සුඛෝපභෝගී  නිරෝධායන මධ්‍යස්ථාන පිහිටු වීමම කෙතරම් ප්‍රශංසනීයද? 

ශ්‍රි ලංකාව මෙම ගෝලීය වසංගතයෙන් මුදවා ගැනීමෙහිලා  වෙර දරන සියලු දෙනාගේම ශ්‍රමය අපතේ නොයැවීමට අප සැම තරයේ සිතට ගත යුතුය.මෙලොව සියලු බලවතුන් සොබාදහම හමුවේ දෙවෙනි තැනට පත් වේ. තමාට අනෙකා කෙරෙහි කොතරම් කැප විය හැකිද යන්න මත රටක අනාගතය තීරණය වනු ඇත. දැන්වත් මිනිසුන් ලෙස සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත. රට වෙනුවෙන් අපගේ වගකීම නිසි ලෙස  ඉටු කරමු. කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් කඩිනමින්  නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු වී රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා උර දුන් කොටස් කරුවෙකු වීමේ වාසනාව හිමි කර ගන්න.

About Author

මෙහි කතුවරයා වන ඉමේෂා තුෂානි PR WIRE ආයතනයෙහි සෞඛ්‍ය සත්කාර සන්නිවේදනය සහ මහජන සම්බන්ධතාවයට අදාලව විධායක නිලධාරිනියකු ලෙස කටයුතු කරයි. ඇය මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිධාරිනියක් වන අතර මේ වන විට මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් සිටී. ඇය වෘත්තීය අවධානයට අමතරව, ප්‍රජාව වෙත ධනාත්මක අදහස් පතුරුවා හැරීමට නිරතුරුවම උත්සහ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *