Sinhala Insights

පුවත්පත් නිවේදනයක් පරිවර්තනය කරන්නේ කෙසේද?

අද වන විට ලොව පුරා සමාගම් මාධ්‍ය අවධානය දිනා ගත යුතු කාර්යයන් සම්බන්ධයෙන් වෙළෙඳ දැන්වීම පළ කරවා ගැනීමට වඩා ව්‍යාපාරික ප්‍රවෘත්තියක් ලෙසින් ඒවා පළ කරවා ගැනීම පිළිබඳව උනන්දුවක් දක්වනු දක්නට තිබේ. ඒ, මුදල් ගෙවා පළ කරන දැන්වීමකට වඩා පුවත්පතේ අන්තර්ගතය ලෙසින් බොහෝ පාඨකයින් විසින් වරදවා වටහා ගන්නා පුවත්පත් නිවේදනයක් මගින් වෙළෙඳ දැන්වීමකට වඩා සුවිශේෂී වාසි අත්කර ගැනීමට සමාගම්වලට හැකියාව පවතින බැවිනි.
පුවත්පතක ව්‍යාපාරික පිටු සඳහා ආයතනික පුවත් ලියා පළ කිරීම ව්‍යාපාරික මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරයක් වුවත්, අදවන විට එම කාර්ය භාරය ඔවුන්ගෙන් මුළුමනින්ම ඈත්ව පුවත්පත් නිවේදනවලට පමණක් සීමා වී තිබේ. ඒ හේතුවෙන් සමාගම්වල ප්‍රවෘත්තිවලින් ව්‍යාපාරික පිටු පිරවීමේ කාර්යය කර්තෘ මණ්ඩලවලින් බාහිර පිරිසක් අතට පත් ව තිබේ. එම කාර්යය වෘත්තීය මට්ටමින් සිදු කිරීම සඳහා ලොව පුරා ආයතන බිහි ව පවතින අතර, වර්තමානයේ අප විසින් සිදු කරමින් තිබෙන්නේද, එම කාර්යයයි.
ව්‍යාපාරික පුවත් පළ කිරීම සඳහා වන පුවත්පත් නිවේදන බොහොමයක් ලියවෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වීම නිසාම, සිංහල පුවත්පත්වල පළ කෙරෙන නිවේදන වැඩි හරිය ඒවායේ පරිවර්තනයන් ය. මෙම පරිවර්තනවලින් ඇතැම් ඒවා ඉංග්‍රීසි පුවත්පත් නිවේදනවලින් කළ නීරස පරිවර්තන නිසාම ඒවා කියවීමට පාඨකයෝ මැළි වෙති. එවන් විටක, පුවත්පත් දැන්වීමකට වඩා ප්‍රබල යැයි විශ්වාස කෙරෙන ව්‍යාපාරික ප්‍රවෘත්තියක් පළ කරවා ගැනීමෙන් සමාගමකට අත්වන වාසියක් නොමැත.
සිංහල පුවත්පතක ව්‍යාපාරික පුවතක් පාඨකයින් අතරට ගෙන යාමේ වගකීම පවතින්නේ, පී. ආර්. ආයතනවල ඉන්නා පරිවර්තකයින් සතුව ය. කොතරම් ප්‍රබල ප්‍රවෘත්තියක් වුවද, ඔවුන්ගේ ලේඛන ශෛලිය මෙන්ම, පරිවර්තනයේ ස්වභාවය අනුව එය පාඨකයින් අතරට යාම හෝ නොයාම රැඳී පවතී. ඒ නිසාම, නිවැරදිව පරිවර්තනයක් කරන්නේ කෙසේද යන්න, දැනුවත් ව සිටීම වැදගත් වේ.
පරිවර්තනය මුළුමනින්ම පරිවර්තකයාගේ ලේඛන හැකියාව මත රැඳා පවතින්නක් වන බැවින් පරිවර්තනයක් සිදු කරන්නේ කෙසේදැයි යන්න, පන්ති තබා හෝ ලිපි ලියා ඉගැන්විය හැකි කාරණාවක් නොවේ. ඒ නිසා ව්‍යාපාරික පුවත්පත් නිවේදනයක සිංහල පරිවර්තනයක් සිදු කිරීමේදී කළ යුතු හා නොකළ යුතු කාරණා කිහිපයක් සිහිපත් කිරීම මේ ලිපියෙහි අරමුණ වී තිබේ.
ඊට පෙරාතුව පරිවර්තනයක් කෙසේ විය යුතුද යන්න ගැන අප ගනුදෙනු කරන ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සතුව අදහසක් පවතී. ඔවුන්ගේ සමාගම වෙනුවෙන් ලියවෙන පුවත්පත් නිවේදනයක සිංහල පරිවර්තනයක් ඉංග්‍රීසි පුවත්පත් නිවේදනයෙහිම කාබන් කොපියක් ලෙසින් දැකීමට ඇතැම් සමාගම් කැමති වුවත්, බොහෝ සමාගම් කැමති වන්නේ, එහි අර්ථය සරිලන සිංහල බසින් ලියවෙනු දැකීමටයි. ඒ අනුව බොහෝ විට පරිවර්තන, සමාගම්වල වගකිව යුතු තැනැත්තන්ගේ රුචි අරුචිකම්වල ස්වභාවය අනුව දහ දොළොස් වතාවක් වුව යළි යළි ලියවා ගැනීමට ඉඩ තිබේ. වඩාත් ගැලපෙන්නේ පරිවර්තනයක් ලෙස නොපෙනෙන ආකාරයේ පරිවර්තනයන් ය.
බොහෝ විට ඉංග්‍රීසි පුවත් පත් නිවේදනවලින් වැඩි හරියක එය ලියැවෙන දිනය හා ස්ථානය සඳහන් වෙතත්,‍් සිංහල පරිවර්තනවලට එවැන්නක් අවශ්‍ය නොවේ. සිංහල පුවත්පත් සඳහා යවන නිවේදනවලින් ඇතැම් ඒවා මාස ගණනකට පසුව පළ වන අවස්ථාද පවතින බැවින්, එවැන්නක් පරිවර්තනයට ඇතුළත් කර තිබුණද, ප්‍රවෘත්තිය පළ කෙරෙන විට සිදු වන්නේ ඒවා කපා දමා පළ කිරීමයි. යම් සිද්ධියක් සිදු වූ දින ප්‍රවෘත්තියකට වැදගත් වුවත් පුවත්පත් නිවේදනයක, ඒ පිළිබඳ සටහන් තබන දිනයෙහි කිසිදු වැදගත්කමක් ඇත්තේ නැත. එමෙන්ම, බොහෝ අවස්ථාවල පුවත්පත් නිවේදනයක සිංහල පරිවර්තනයක, සිද්ධිය වූ දිනයෙහි ඇති වැදගත්කමද ගිලිහී යන්නේ, ඒවා පුවත්පත් පිටු අතරට එන විට පිළුණු වූ ප්‍රවෘත්ති ලෙසින් සැලකෙන කල් ගත වූ ප්‍රවෘත්තීන් වන නිසාය. ඒ, සිංහල පුවත්පත් ව්‍යාපාරික පුවත් සඳහා වෙන්කරන ඉඩකඩ ප්‍රමාණය ඉතාමත් සීමිත ප්‍රමාණයක් වන බැවිනි. ඇතැම් සතිඅන්ත පුවත්පත් ව්‍යාපාරික පුවත් අතිරේක පළ කරනු ලැබුවද, ඉඩකඩ සඳහා වන තරගය ජය ගෙන තම ආයතනය මගින් යවන පුවත්පත් නිවේදනයක් පළ කරවා ගැනීමට සුවිශාල සටනක් දෙන්නට බොහෝ පී. ආර්. ආයතනවලට සිදුව තිබේ.
නිවැරදිව ව්‍යාපාරික පුවත්පත් නිවේදනයක් සිංහලට හරවන්නේ කෙසේද යන්න පිළිබඳව දැන සිටීම මේ තරගය ජය ගැනීම සඳහා වන හොඳම විසඳුමයි. පුවත්පතක ප්‍රවෘත්තියක් පළ කිරීමේදී මෙන්ම, පුවත්පත් නිවේදනයක් ලිවීමේදීද, අදාළ සිද්ධිය සිදු වී කලක් ගත වී තිබුණද සිරස්තලය සැම විටම තැබිය යුත්තේ වර්තමාන කාල ආඛ්‍යානයෙනි. එය නියතයකි. එහෙත් ප්‍රවෘත්ති තුළ එම සිද්ධිය පිළිබඳ සඳහන් වන විට, එය අතීත කාලයෙන් සඳහන් කිරීමේ වරදක් නැත.
ප්‍රවෘත්තියක් ආකාරයෙන් එම නිවේදනය පළ කරන්නේ නම්, එය පරිච්ඡේද දෙක තුනකින් ලියා හමාර කිරීම සිදු කළ යුතුවේ. එහෙත් අද වන විට බොහෝ සමාගම් කැමති සිය සමාගම මගින් නිකුත් කරන පුවත්පත් නිවේදනයට අඩුම තරමේ පිටු කාලක් හෝ වෙන්වනු දැකීමටය. ඒ නිසාම ප්‍රවෘත්තිමය ආකාරයේ කෙටි පුවත්පත් නිවේදන අද වන විට ව්‍යාපාරික පිටුවල දැකීම තරමක් විරල කාරණයක් ව තිබේ. බොහෝ පිටුවල ඉඩකඩ පිරවෙන්නේ සාමාන්‍ය විශේෂාංග ලිපියක ආකෘතියෙන් ලියැවුණු කෙටි ලිපිවලිනි. විශේෂාංග ලිපියක ආකාරයෙන් සියලු තොරතුරු ඊට අන්තර්ගත කර ලියද්දී, එය ප්‍රවෘත්තියකට වඩා දිගු වීම සාමාන්‍ය කාරණයකි.
සිරස්තලයෙන් හා මුල්ම වාක්‍යයෙන් පාඨකයින් ඇද ගන්නට සමත් අන්දමට පුවත්පත් නිවේදනය ආරම්භ කළ යුතු අතර, පාඨකයින් විසින් දැනගත යුතු වැදගත්ම තොරතුරු සියල්ල පළමු පරිච්ඡේදයට ඇතුළත් කිරීමද කළ යුතු වේ. උදා හරණයක් ලෙසින්, යම් නිෂ්පාදනයක් එළි දැක්වීම සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනයක් ලියන්නේ නම එම නිෂ්පාදනය කුමක්ද? එළි දක්වන්නේ කවදාද? කෙසේද? ආදී වශයෙන් වන වැදගත් තොරතුරු සියල්ල පළමු පරිච්ඡේදයට ඇතුළත් කළ යුතුවේ. යම් හෙයකින් පිටුවෙහි ඉඩකඩ මඳකම හේතුවෙන් ලිපිය සංස්කරණය කර පළ කිරීමට අවශ්‍ය වුවහොත්, පාඨකයා වෙත යා යුතු අත්‍යවශ්‍යම තොරතුරු එවිට පළමු පරිච්ඡේදය තුළ ඉතිරි වේ. බොහෝ දුරට සිංහල පරිවර්තන සිදු කරද්දී මතක තබා ගත යුතු වැදගත් කාරණයක් නම් යම් නිෂ්පාදනයක් එළි දැක්වුණු දිනය හෝ උත්සවයක් පැවැත්වුණු දිනය ඇතුළත් වන්නේ නම් එය ඉවත් කර පළ කිරීමයි. සිංහල පුවත්පත් නිවේදන පළ වන්නේ බොහෝ කල් ගත වී බැවින් දිනය ඉවත් කර ‘පසුගියදා’ හෝ ‘මෑතකදී’ යන්න යෙදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ.
සාමාන්‍යයෙන් ඉතිහාසය ඇතුළත් කෙටි විස්තරයක් ඉංග්‍රීසියෙන් පළවන ව්‍යාපාරික පුවතක දැකිය හැකි වෙයි. එහෙත් එය සිංහලට පරිවර්තනය කෙරෙන අවස්ථාවක ඉවත් කිරීමට වග බලා ගත යුත්තේ සිංහල පුවත්පත් අදාළ ප්‍රවෘත්තිය හැරුණු විට අවශේෂ කාරණා පළ නොකරන බැවිනි. අනෙක් අතට එවැන්නක් පාඨකයාට වැදගත් වන්නේ නැත. එහෙත් එවැන්නක් ඉවත් කිරීමේදී සැලකිය යුතු කාරණාවක් නම්, අදාළ නිවේදනයට අදාළව තොරතුරු දැන ගැනීමට හැකි පුද්ගලයකුගේ තොරතුරු ඇතුළත් කරන්නේද එම විස්තරය සමග බැවිනි. එහි සම්බන්ධීකරණය සිදු කරන පුද්ගලයා, ඔහුගේ දුරකතන අංකය, ඊමේල් ලිපිනය ආදී විස්තර ඒ සමග වේ. එම තොරතුරු ඉතිරි වන සේ අනෙක් කොටස කපා දැමීම කළ යුතු වේ. මෙවැනි කොටස් සිංහල පුවත්පතක පළ නොවන්නේ, බොහෝ විට ඒවායේ වෙන් කෙරෙන ඉඩකඩ මඳ කම නිසාය. ඒ නිසාම සිංහල පරිවර්තනයක් ඉංග්‍රීසි පරිවර්තනයකට වඩා තරමක් ‍කෙටි වන සේ පරිවර්තනය කළ හැකි නම් වඩා වටී.
එමෙන්ම, පුවත්පත් නිවේදන සියල්ලකම පාහේ අදාළ පුද්ගලයින් විසින් සිදුකරන ප්‍රකාශ ඇතුළත්ව තිබේ. එම ප්‍රකාශ සැම විටම කතා කරන භාෂාවෙන් ඇතුළත් කිරීමට අප වග බලා ගත යුතු වේ.
සිදු කරන පරිවර්තන පුවත් පතට යැවීමට පෙර, අදාළ සමාගමේ වගකිව යුතු තැනැත්තකුගේ අධීක්ෂණයට ඒවා යොමු වන අතර, අනුමැතිය ලබා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වේ. ඇතැම් විට දහ පහළොස් වතාවක් වුව යළි යළි වෙනස් කිරීම සාමාන්‍යයෙන් සිදු වේ. තමන්ගේ ලිවීමක් තව කෙනකුට ඕනෑ අන්දමින් වෙනස් වනු දැකීම ඉතාමත් අසීරු කාර්යයක් වුවත්, පී. ආර් ආයතනයක පරිවර්තකයකු නම් එවැන්නකට ඉඩ දීමට සිදු වේ.
ඇතැම් විට අනෙකාගේ මෙම අත පෙවීමෙන් පරිවර්තනය නීරස වීමට ඉඩ තිබෙන අතර, ඇතැම් විට එය වඩාත් ඔප මට්ටම් වීමටද ඉඩ තිබේ. ඒ නිසාම තමන්ගේ ලේඛන ශෛලිය පිළිබඳව ඕනෑවට වඩා ඇල්ම ඇති කර නොගෙන සිටීමෙන්, අවසානයේ වඩා හොඳ පරිවර්තනයක් පුවත්පතකින් දැක ගත හැකි වේ.

උදානි විජයසුන්දර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *