උදානි විජයසුන්දර
මේ ගෙවෙන්නේ නිවසේ සිට වැඩ කරන 32 වැනි දවසයි. මේ වන විට කෝවිඩ්-19 වසංගතය සෙමෙන් රට ගිල ගනිමින් තිබේ. මා අත්විඳිමින් සිටින්නේ වසර ගණනක් තිස්සේ සතියේ සෑම වැඩකරන දිනකම, නිවසේ කුදු මහත් කටයුතුද, පුතුගේ කටයුතුද මවගේ කරපිට දමා රැකියාවට පිටත් වීමේ පල විපාකය යැයි මම විශ්වාස කරමි.
රජය විසින් නිවසේ සිට රාජකාරී කාලයක් හඳුන්වා දෙන්නට දින කිහිපයකට මත්තෙන් අපි නිවසේ සිට වැඩ කිරීම ඇරඹුවෙමු. අලුත් ජවයකින් වැඩ කරන්නට පටන් ගත් පළමු දිනයේම, මට වැටහුණේ, මා කරන්නේ කුමක්දැයි නිවෙසේ කිසිවකු ඒ දක්වාම නොදැන සිටි බවයි. පළමු සතියේ නිවසේ සිට සිදු කෙරුණු මාගේ කාර්යාල කටයුතු අතරමැද සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ මා කරන්නේ කුමක්දැයි, විටින් විට පරිගණකයට එබී විමසන පවුලේ උදවියට තෝරා දීමයි.
දෙවැනි සතිය ඇරඹෙද්දී, මට සිතුණේ මා උදේ හවා කාර්යාලයට ගොස් එහි ඉවුම් පිහුම් කිරීම, වළං පිඟන් සේදීම, රෙදි සේදීම හා තේ බෙදීම ආදිය මගේ රැකියාව වශයෙන් කරන්නේ යැයි පවුලේ උදවිය වරදවා වටහා ගෙන ඇති බවයි. කාර්යාල කටයුතු සිදු කළ යුතු කාලය තුළ, නිවසේ සුපුරුදු කටයුතු එකම අයුරින් ඉටු කිරීම අසීරු යැයි මැසිවිලි නගන විටක, “ඒවා ඉතින් ගෑනුන්ගේ රාජකාරි නෙ!” යි යන සරල උත්තරය ඇසෙන්නට විණි. දෙවැනි සතියේ, නිවසේ වැඩ කටයුතුවලින් වැඩි හරිය මා අතින් සම්පූර්ණ වෙද්දී, කාර්යාල කටයුතු සඳහා දිනක වේලාවෙන් ඉතිරිව තිබුණේ, හදිසි කටයුතුවලට පරිගණකය ඉදිරියේ වාඩි වීම සඳහා ඉතා සුළු වේලාවක් පමණි. කුමන හෝ මොහොතක කාර්යාලයේ වැඩක් අතපසු වේ යැයි මේ දින කිහිපයට සියක් වාරයක් පමණ මට කල්පනා වී ඇති අතර, මේ ගෙවන්නේ වසර ගණනක වෘත්තීය ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයක් බවද මම උපකල්පනය කරමි.
නිවසේ පරිසරයද එහි වෙසෙන සියල්ලන්මද එකාවන්ව එක්ව මා පිළිබඳව සානුකම්පාවෙන්, අනෙකුත් වැඩ ගොඩගසමින් මේ අසීරු කාල පරිච්ඡේදයේ කාර්යාල කටයුතුවලින් මා ගලවා ගන්නට වෑයම් කරන්නේ යැයිද විටෙක මට සිතෙයි. ඒ කටයුත්තෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නේ, මාගේ හත් හැවිරිදි සුරතල් පුතු වන අතර, ඉඩ ලැබෙන තත්පරයක පරිගණකය ඉදිරියේ වාඩි වන මා කාර්යාල කටයුතුවලින් ගලවා ගන්නට ඔහු හැම විනාඩි දහයකට හෝ පහළොවකට වතාවක් අමුතු උපායන් දියත් කරමින් සිටියි. එහි ප්‍රතිපලයක් වශයෙන් ඉතා හදිසි කටයුත්තක් සිදු කරන අතරවාරයේ වුව, දහදොළොස් වතාවක් වත් පරිගණකය ඉදිරියෙන් නැගිට යාමට මට සිදුව තිබේ. මේ මොහොතේ මා අතින් ඉටු නොවන කාර්යයන් පිළිබඳව කාර්යාලයට වග උත්තර බැඳීමට සිදු වන්නා සේම, නිවසේ සිටියදී ඉටු නොවී මග හැරෙන යුතුකම් පිළිබඳ වන කන් කෙඳිරි ගෑම් හා නෝක්කාඩුවලින් ගැලවීමටද මට හැකියාවක් ඇත්තේ නැත.
එබැවින්, අසීරු කාල පරිච්ඡේදයේ රැවුලත් කැඳත් දෙකම බේරා ගනිමින් කටයුතු කිරීමට මම මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරමින් පහසු උපායන් සොයමි. නිවසේ සිට රාජකාරි කිරීමට උපදෙස් දෙන නා නා විධ වෙබ් අඩවි ගණනාවක නා නා විධ උපදේශන මගේ ඇස ගැටෙයි. එහෙත්,් ඒවායෙන් වැඩිහරියක, ගෘහනියක හා මවක වන මට ගැලපෙන උපදෙස් නැතැයි බැලූ බැල්මට මට පෙනී ගොස් තිබේ. කාර්යාල කටයුතු ආරම්භ කිරීමට පෙර කාර්යාලයට සුදුසු පරිදි හැඳ පැලඳ ගැනීම, නිවසේ කාර්යාල පරිසරයක් ඇති කිරීම හා අට-පහ රාජකාරි කිරීම ආදී, මා හට ප්‍රායෝගික නොවන කාරණා නොසලකා හරින්නට සිදු විණි. මා කරන්නේ, කාර්යාල වැඩටත් නිවසේ කටයුතුවලටත් දෙකටම පහසු සැහැල්ලු ඇඳුමක් හැඳ උදෑසන නිවසේ කටයුතු හමාර කළ පසුව, පරිගණකය ඉදිරියේ වාඩි වීමයි. ඒ අනුව බොහෝ විට අත්‍යවශ්‍ය හදිසි කාර්යාල කටයුත්තක් නොමැති නම්, නිවසේ සිට මා වැඩ අරඹන විට මා සිටින්නේ සුපුරුදු කාර්යාල වේලාවට වඩා තරමක් පසුපසිනි.
මේ දිනවල නිවසේ සිට වැඩ කරන අප හට නිතර මතක් කරන උපදෙස් කිහිපයක් වෙයි. ඉන් ප්‍රධානම දෙය වන්නේ නිරත්තරයෙන් අවධානයෙන් සිටීමයි. අප කාර්යාලයේ සිටියදී අවධානයෙන් සිටින්නැයි ප්‍රධානියා වෙතින් නිතර උපදෙස් ලැබුණු බවක් මගේ මතකයේ නොමැති අතර, නිවසේ සිට කටයුතු කරද්දී, මේ කියන අවධානය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙයි.
උයද්දී පිහද්දී, බත් බෙදද්දී, තේ හදද්දී හෝ රෙදි සෝදද්දී මග හැරෙන්නේ මේ අවධානය වන අතර, සෑම විනාඩියකම අප වැඩ කටයුතු කරන යෙදවුම මගින් හෝ අන්තර්ජාලය, වට්ස් ඇප් මගින් නැතිනම් ඊමේල් මගින් ලැබීමට ඉඩකඩ ඇති කාර්යාල වැඩක් අතපසු වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී. මා මෙන්ම නිවසේ සිට සිය ආයතනය වෙත දෛනික සේවය ලබා දෙන හිතවතියක පැවසුවේ, තමන් එවැනි පණිවිඩ මග හැරේ යැයි බියෙන් පිණිස ජංගම දුරකතනයේ ඇලර්ට් පහසුකම් දමා දුරකතනය තමන් ඉන්නා මානයේම තබා ගෙන සිටින බවයි. එසේම ජංගම දුරකතනය පැය 24 ම ක්‍රියාත්මක කර තැබීමද, එහි ඩේටා විසිහතර පැයේම ඔන් කර තැබීමටද ඇය වග බලා ගනියි. එපමණක් නොව, යම් හෙයකින් ඉතා හදිසි කාර්යාල කටයුත්තකදී අන්තර්ජාල පණිවිඩ පිළිබඳ පමණක් විශ්වාසය නොතබා ජංගම දුරකතනය අමතා අදාළ කාර්යය දැනුම් දෙන ලෙස ඇය සිය කාර්ය ප්‍රධානියාට දැනුම් දී තිබේ. මාගේ ජංගම දුරකතනය පිළිබඳ මටත් වඩා විමසිල්ලෙන් ඉන්නා පුතු මා එය කොතැනක හෝ තිබූ සැණින් ඩැහැ ගන්නා බැවින්, හිතවතිය අනුගමනය කරන ක්‍රම සියල්ලෙන්ම අවසන් ක්‍රමය පිළිබඳ මගේ අවධානය වැඩි අවධානයක් යොමු වී තිබේ.
නිවසේ සිට කාර්යාල කටයුතු කරද්දී, දින සටහන් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්ය යන්න මට කල්පනා වූයේ, මේ දිනවල සතියේ වැඩ කරන දින පහක් හෝ හයක් ගැන වැඩි දෙනකුට මෙන්ම මටද අවබෝධයක් නොමැති බව අවබෝධ වීම නිසාය. නිවසට කොටු වූ දින සිට මේ දක්වාම මා ද දින මෙනෙහි කරන්නේ, ඊයේ, අද සහ හෙට වශයෙනි. යම් හෙයකින්, ඊයේ දිනට පෙර කළ කාර්යයක් පිළිබඳ දැන ගැනීමට ආයතනයේ කිසිවකුට අවශ්‍ය වුවහොත්, ඒ කවදාදැයි ක්ෂණිකව නිශ්චිත වශයෙන් දැන ගැනීමටද ක්‍රමයක් තිබිය යුතු වෙයි. පරිගණයේ ඊ මේල් පරීක්ෂා කරමින් කල් මැරීමට වඩා, එදිනෙදා කාර්යයන් සටහන් පොතක සටහන් කර ගැනීම වැදගත් යැයි සිතෙන්නේ ඒ හේතුවෙනි.
නිවසේ සිට කාර්යාල කටයුතු සිදු කරන පිරිසට ඒ සඳහා නිශ්චිත වේලාවක් තබා ගන්නා ලෙස වෘත්තීය විශේෂඥයින් උපදෙස් දෙති. මා කරන කාර්යය අනුව, එවැන්නක් සිදු කළ හැකි නම් මා තෝරා ගන්නේ, රාත්‍රී කාලයයි. එවිට නිදි වැරීම කළ යුතු වුවත්, කිසිවකුගේ බාධා කිරීමකින් තොරව, ඒකාකාරී අවධානයෙන් යුතුව කාර්යය අවසන් කරගත හැකි වේ. දිවාකාලයේ බාධා කිරීම් ගණනාවක් මැද හමාර කරන පැය හතරක කාර්යයක්, කිසිදු බාධාවක් නොමැති රාත්‍රී කාලයේ පැය දෙකකින් වුව, නිමා කිරිමේ හැකියාව පවතින බව මම දනිමි.
දහවල් කාලයේ කාර්යාල කටයුතු සිදු කරද්දී, පවුලේ අයගෙන් සැඟවී වැඩ කටයුතු සිදු කළ හැකි නම් වටින්නේ යැයි මට සිතුණු වාර අනන්තය. මා වෙතින් කිසිදු සද්දයක් බද්දයක් නොමැති ඇතැම් අවස්ථාවල, ‘පුතේ අම්මා මොකද කරන්නෙ බලන්න!, යි කියමින් සැමියා පුතුව අවුස්සයි. එවන් විටෙක මා සොයා පැමිණ පරිගණකයට ඔළුව දමන පුතු යළි හරවා යැවීමට මහත් ආයාසයක් දැරිය යුතු වෙයි. එක් අවස්ථාවක පුතු, පෙරළා කාමරයෙන් ගියේ ‘තාත්තේ අම්මා ෆේස් බුක් එකේ! ̓යැයි මහ හඬින් කියමිනි. පරිගණකය ඉදිරියේ මා කරන්නේ කුමක්දැයි යන්න පිළිබඳව තවමත් හරිහැටි අවබෝධයක් නොමැති නිවසේ උදවිය එදා සිට සිතා ඉන්නේ, මා පරිගණකය ඉදිරියේ විවේක සුවයෙන් පසුවන බවයි. නිවෙසේ කිසිවකුගේ බාධා කිරීම් හා ඇඟිලි ගැසීම්වලින් තොර ස්ථානයක් තෝරා ගැනීමේ වැදගත්කම පිළිබඳව ප්‍රමාණික විද්වත්හු අවධාරණය කරන්නේ මෙවැනි කාරණා මගහරවා ගැනීමටය.
එමෙන්ම, කාර්යාලයේ එකිනෙකාගෙන් දුරස්ව නිවෙසට වී කටයුතු කරන අතරෙහි එකිනෙකා අතර දුරස්ථ බව වර්ධනය වීමද, නිතැතින්ම සිදු වේ. වෙනදා විහිළු තහළු කරමින් වැඩ කටයුතු කළ කාර්යාල පරිසරය නිතර සිහිපත් වන අතර, රාජකාරි සඳහා නිරතුරු සම්බන්ධ වන පිරිස හැරුණු විට අනෙක් අය හට දුරකතන ඇමතුමක්වත් දී නැතැයි ද මට සිහිපත් වේ. වාසනාවකට, කාර්යාලයේ සියලු දෙනා වට්ස් – ඇප් මගින් සම්බන්ධ වී සිටින අතර, සැම විටකම වට්ස්-ඇප් කණ්ඩායම් ගිණුම හා සම්බන්ධ වී සිටින්නැයි නිරතුරු උපදෙස්ද ලැබේ. රාජකාරිමය ඊ මේල් හා වට්ස්- ඇප් පණිවිඩයකට පිළිතුරු දීමේදී වුව, වඩාත් සුහද සන්නිවේදනයක් පවත්වා ගත හැකි නම් වටින්නේ යැයිද මට සිතේ.
අන්තර්ජාලයෙන් මා කියවූ උපදෙස්වලින් සිත් ගත් එක් උපදෙසක් වූයේ මානසික සැහැල්ලු බව පවත්වා ගනිමින් කටයුතු කිරීමයි. කෝවිඩ් සම්බන්ධ දින දින අලුත් වන අසතුටුදායක තොරතුරු අසමින්, රටේ තොටේ මිනිසුන් ගැන වද වෙමින්,් නිවසේ බිත්ති හතර මැද කොටු වී ගත කරන මේ කාලයේ,් යකාගේ කම්මලක් බඳු ඔළුව නිස්කලංකව තබා ගැනීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කාරණයකි. නිවසේ සිට කාර්යාල කටයුතු සිදු කිරීමට සිදු වීම හේතුවෙන් වැඩි දෙනෙක් වැඩි කාල වේලාවක් අන්තර්ජාලයේ ගත කරති. ඒ නිසාම, අන්තර්ජාලය මගින් වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති නැරඹීමේ වැඩි ප්‍රවණතාවයක්ද තිබේ. මනස සැහැල්ලු කර ගැනීමට නම් කාලීන ප්‍රවෘත්ති පිළිබඳ පවතින උනන්දුව අඩු කර ගැනීමද වැදගත් වේ. කාර්යාල කටයුතු අතර ලැබෙන කෙටි විවේකය වත්තේ පිටියේ ඇවිදීමට, පොතක් කියවීමට, ප්‍රිය කරන සංගීතයට සවන් දීම ආදියට වෙන් කරන ලෙස, මනෝ විශේෂඥයෝ පවසති. එමෙන්ම පැල සිටුවීමද, මානසික සැහැල්ලු බව ඇති කරන කාර්ය ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් වන කාරණයකි. ඇඳිරි නීතිය දැමූ දා සිටම කුස්සියේ උයන්නට ගන්නා සෑම දෙයකම පැළ කළ හැකි කොටස් කඩිමුඩියේ ගොස් ගෙයි පිටුපස පැළකරන්නට පුරුදුව සිටින මම ඒ උපදෙසෙහි ප්‍රායෝගික යෝග්‍යබව හොඳින් හඳුනමි.
එහෙත් නිවසේ වැඩ අතරතුර ලැබෙන විවේකයේ කාර්යාල කටයුතුවල නියැළෙන, මා වැනිම ගෘහනියන් හා මව්වරුන් හට කාර්යාල කටයුතු අතරතුර විවේකයක් ඇත්තේ නැත. ඔවුන් වැඩි දෙනා මුහුණ දෙන අත්දැකීම්, මා මුහුණ දෙන අත්දැකීම්වලින් වෙනස් වන්නේ අඩු වැඩි වශයෙනැයි කිහිපදෙනෙකු හා කළ කතා බහෙන් මම වටහා ගතිමි. වැඩි දෙනා සිතන්නේ මෙය නම් කළ නොහැක්කක් ලෙසිනි.
මේ, එසේ සිතන මාද ඇතුළු වැඩි දෙනා කළ නොහැකි දෙය කරමින් සිටින 32 වැනි දවසයි. ගෙවුණු දින 31 සැලකිය යුතු කාලයකැයි මට සිතේ. ඉදිරි දින කිහිපය ඇතුළත, කාර්යාල කටයුතු පහසුවෙන් සිදු කළ හැකි ක්‍රමවේදයක් මුණ ගැසෙනු ඇතැයිද අනුමාන කරමි.
කෙසේ වෙතත්, මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ දරා සිටීම පමණක් හෝ අප සියලු දෙනා කළ යුතු යැයි මම දනිමි. ඒ, කණ්ඩායමක් ලෙසින් සිටියදී, එක් අයකුගේ වැටීම තවකෙකුගේ පරාජයටද බලපාන බැවිනි.